Categories
History

දයානන්ද ගුණවර්ධන | Dayananda Gunawardana


තර්ස්ටන් විද්‍යාලයේ පාසල් ගීයේ පද රචනා කරු, හෙළ නාට්‍ය කලාව ආලෝකවත් කළ සොඳුරු  නිර්මාණකරු…..

දයානන්ද ගුණවර්ධන | Dayananda Gunawardana

Born: October 15, 1934, Sri Lanka
Died: June 24, 1993, Colombo

කලාවට සම්බන්ධ පවුල් පසුබිමක් නොතිබුනද පාසල් ශිෂ්‍යයෙකුව සිටි අවධියේ පටන්ම නාට්‍ය කලාව පිළිබඳව ඔහු තුල පැවතියේ දැඩි ආශාවකි. මේ නිසාම පේරාදෙණියේ විශ්ව විද්‍යාලයේ සිය අධ්‍යයන කටයුතු සිදු කරන සමයේදී  යහළුවන් විසින් ඔහුට  ” ජුබාල් ” හෙවත් ඔවුන්ට නාට්‍ය කලාව පිළිබඳව ඉගැන්වීමට ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි නියුමන් ජුබාල් නම් වූ නාට්‍ය විශේෂඥවරයාගේ නම පටබඳින ලදි. මෙලෙස නාට්‍ය කලාව සිය ලෝකයම කරගත් හේ දයානන්ද ගුනවර්ධනයන්ය.

හෙට්ටිපත්රන්නැහැලාගේ දයානන්ද ගුණවර්ධන වේයන්ගොඩ නගරයට ආසන්නව පිහිටි හල්ගම්පිටිය ගමේදී සයිමන් ගුණවර්ධන නම් වූ ඉංග්‍රීසි ගුරුතුමාගේ මද්දුම දරුවා ලෙස උපත ලැබුවේය. ඒ 1934 වර්ෂයේ ඔක්තෝම්බර් 15 වන දිනයේදීය. ඔහුට තවත් සහෝදරයන් තිදෙනෙක් විය. කුඩා කල දෙමවුපියන්ගෙන් ඈත්ව දරුවන් නොසිටි පුංචි අම්මා ළඟ ඔහු හැදී වැඩුනේය.

කලගෙඩිහේන පාසලින් සිය අධ්‍යාපන කටයුතු හැදෑරීම ආරම්භ කළ ඔහු අනතුරුව උඩුගම්පල මහා විද්‍යාලයටත් වේයන්ගොඩ මහා විද්‍යාලයත් ඇතුළු වූවේය. මෙම පාසල් වලදීද නාට්‍ය වල රඟපෑමට ඔහුට අවස්ථාව හිමි විය. වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ සිය ප්‍රථම නාට්‍යය , ” පුදුම හමුවීම ” රචනා කර නිෂ්පාදනය කිරීමට ඔහු සමත් වූවේය.

වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේදී කනිෂ්ඨ කැඩෙට් නායකයෙකු ලෙසද ක්‍රියා කළ ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුලත් වූවේය. එහිදී ද අනෙක් පාසල් වලදී මෙන්ම නාට්‍ය, සාහිත්‍ය හා සංගීත සංගමයේද විවිධ තනතුරු හෙබවූයේය. එමෙන්ම ආනන්දයේදී ඩී.බී. ජයතිලක සාහිත්‍ය ත්‍යාගයට හා අමරසේන පෙරදිග චිත්‍ර ත්‍යාගයටද හිමිකම් කීමට මෙම දීප්තිමත් සිසුවා සමත් වූවේය. එහිදී මැනවින් ශිල්ප හැදෑරූ ඔහු අවසාන විභාගයෙන් ඉහල සාමාර්ථ ලබා ගනිමින් පේරාදෙණිය සරසවියට තේරී පත් වූවේය.

එහිදී ද මහාචාර්ය ලින් ලුඩොවික් හා එදිරිවීර සරත්චන්ද්‍රයන් සිංහල නාට්‍ය කලාව සම්බන්ධව සිදු කළ පර්යේෂණ ආදියට දයානන්දයන් දැක්වූයේ දැඩි උනන්දුවකි. එමෙන්ම ඔහු විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු වලට පරිභාහිරව සිංහල නාට්‍ය මණ්ඩලයේ හා සමාජවාදී සංගමයේ විවිධ තනතුරු රැසක්ද, රාමනාදන් ශාලාවේ සමාජ ලේකම් ධූරයද දැරුවේය. 1957 වර්ෂයේ භූගෝල විද්‍යා විශේෂවේදී උපාධිය ලබා කෑගල්ල මහා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස පත්වී ඔහු වසර හතරක් පමණ සේවය කළේය.

” වෙද  හටන ” නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසි දයානන්දයන් 1958 දී කෑගල්ල විද්‍යාලයේ රංග සභාව සමඟ එක්ව “ස්වර්ණතිලකා ” නාට්‍යය රචනා කර නිෂ්පාදනය කළේය. 1959 වසරේ ” පරාස්සයා ” නාට්‍යය ඔහු විසින් නිමැවුනි. 1960 වසරේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඔහුව අනියුක්ත කෙරුණි. තර්ස්ටන් විද්‍යාලයීය රංග පීඨය හා එක්ව “නරි බෑනා ” වේදිකා නාට්‍යය නිර්මාණය කිරීමට ඔහුට හැකි වන්නේ මෙම අවධියේදීය. සිංහල ජන කතාවක් අනුසාරයෙන් නිමැවුණු මෙම වේදිකා නාට්‍යයේ  ” ඇහැළ මලින් ගස් පිරිලා ” හා  ” කුමටද සොබනියෙ කඳුළු සලන්නේ ” යන ප්‍රසිද්ධ ගීත රචනා කරමින් දයානන්දයන්ට සහය වන්නේ ලයනල් අල්ගම මහතාය. එම වේදිකා නාට්‍යය මෙන්ම එහි අඩංගු ගීතද ඉමහත් ප්‍රේක්ෂක ප්‍රසාදයට ලක් විය.

ඉන් අනතුරුව ඔහු  “බොක්ස් ඇන්ඩ් කොක්ස් ” ඉංග්‍රීසි නාට්‍යයේ ආභාෂය ලත්  ” කාමරේ පොරේ ” වේදිකා නාට්‍යයද බල්ගේරියන් නාට්‍යයක අනුසාරයෙන්  ” ඇමති පට්ටම ” වේදිකා නාට්‍යයද නිෂ්පාදනය කළේය. ” පිංගුත්තර ” නාට්‍යයද 1961 දී නිර්මාණය කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයීය සිංහල සංගමය හා එක්ව ඔහුට හැකි විය.

1963දී ” බක්මහ අකුණු ” , 1964දී ” දෙන්නා දෙපොළේ “, 1965දී ” ජසයා සහ ලෙන්චිනා ” හා ” ජීවන වංචාව හෙවත් ඉබි කට්ට ” යන නාට්‍ය නිර්මාණය කිරීමට ඔහු සමත් වූවේය. එමෙන්ම ” විකාරයේ ආකාරය “, ” කබායේ හබේ “, “පද්මාවතී “, ” ගජමන් පුවත “, ” බැංකු නාටකය ” හා “ආනන්ද ජවනිකා ” යන නිර්මාණද දයානන්දයන් විසින් ලාංකේය නාට්‍ය කලාව වෙනුවෙන් දායාද කළ මිණි මුතුය. ඒ අතරින් 1983 දී නිෂ්පාදනය කළ ” මධුර ජවනිකා ” වෙනුවෙන් 1984 දී සාම ත්‍යාගයද , 1986 දී සාහිත්‍ය ත්‍යාගයද හිමි විය. 1986දී ඔහු අතින් නිමැවුණු ” ආනන්ද ජවනිකා ” 1986 හා 1987 වසර වල රාජ්‍ය නාට්‍ය උළෙල වලදී හොඳම ස්වීය නාට්‍ය අධ්‍යක්ෂණය, හොඳම සංගීතය, හොඳම වේදිකා පාලනය සඳහා සම්මාන මෙන්ම හොඳම පිටපත සඳහා වූ විශේෂ සම්මානයද හිමිකර ගනු ලැබීය.

1961 දී තර්ස්ටන් විද්‍යාලයෙන් සමු ගත් දයානන්දයන් වැඩසටහන් සම්පාදක වරයෙකු ලෙස ගුවන් විදුලි සේවයට බැඳුනේය. එහිදී ඔහු අධ්‍යාපන සේවයේ, සන්ධ්‍යා සේවයේ හා ඉංග්‍රීසි සේවයේද කටයුතු කළේය.

ඊට අමතරව රංග විද්‍යා පීඨයේ නාට්‍ය කලාව පිලිබඳ කථිකාචාර්යවරයෙකු , රජයේ ලලිත කලායතනයේ බාහිර නාට්‍ය කථිකාචාර්යවරයෙකු , කෑගලු ප්‍රාදේශීය කලා උපදේශකවරයෙකු ලෙසද කටයුතු කිරීමට දයානන්දයන් සමත් වුවේය. එපමණක් නොව ඔහු ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ නාට්‍ය අනු මණ්ඩලයේ හා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සාමාජිකයෙකුද වුවේය.

ඔහු විවාහ දිවියට අවතීර්ණ වන්නේ 1967 සැප්තැම්බර් 28 වන දිනයේදීය. ඒ ගම්පහ අයිරාංගනී රණතුංග මෙනවිය  සමඟය. ඔවුන් දෙදෙනා චක්රායුද කීර්ති, අභිමංගලා හා වසන්තප්‍රිය යන දරු තිදෙනාගේ ආදරණීය මව්පිය දෙපල වූහ.

විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පමණක් සීමා නොවූ ඔහු තවත් බොහෝ අධ්‍යයන කටයුතු වල නිරත වුවේය. නාට්‍ය කලාව පිලිබඳ බ්‍රිතාන්‍ය නාට්‍ය සංගමයේ පාඨමාලාව, ශේක්ස්පියර් නාට්‍ය පිලිබඳ පාඨමාලාව, ගීත නාටක පිලිබඳ ජාතික ගීත නාටක සංගමයේ පාඨමාලාව, රූපවාහිනී පුහුණුව, අධිරාජ්‍ය සම්බන්ධතා ශිෂ්‍යත්ව යටතේ බී බී සී පුහුණුව සහිත ගුවන් විදුලි පුහුණුව, රූකඩ නාට්‍ය පිළිබඳව රුමේනියාවේ හා චෙකොස්ලොවෙකියාවේ පුහුණුව හා විකට චිත්‍ර හා ළමා සිනමාව පිලිබඳ බුකාරස්ට් සිනමා ආයතනයේ පුහුණුව යනාදිය ඔහු හැදෑරූ පාඨමාලා අතර විය. ඔහු අතින් ” මූලික සිතියම් විද්‍යාව “,” මද්දහන් ගින්දර ” හා ” සකල කලා වල්ලභ ” වැනි කෘති ද රචනා වුනි.

” සූරිය ” හි ඉදිරිපත් කිරීමක් වූ ” සොන්ග්ස් ඇන්ඩ් රිදම්ස් ඔෆ් ශ්‍රී ලංකා ” ජී.ඩී.එන්.යූ 21 දරණ කැසට් පටයේ හා සී.එච්.බී 048දරණ 1975 දී නිකුත් කළ vinyl EP 45 rpm  ” ජසයා සහ ලෙන්චිනා ” ගී තැටියෙහිද දයානන්දයන්ගේ ” ජසයා සහ ලෙන්චිනා ” නිර්මාණයේ එන ගීත ඇතුලත් විය.

සිංහල නාට්‍ය කලාවේ අනන්‍යතාව විදේශයන්ටද රැගෙන යාමට ඔහු සමත් වූවේය. 1978 දී නැගෙනහිර ජර්මනියේ පැවති සංස්කෘතික උළෙලක “නරි බෑනා ” වේදිකා නාට්‍යය ප්‍රදර්ශනය කිරීමට ඔහුට හැකි වූ අතර  1991 දී දකුණු කොරියාවේදී ” බුද්ධාගම හා කොරියානු නාට්‍ය කලාව ” යන මැයෙන් ගවේශනාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද ඔහුට හැකි විය.

ඔහුගේ වේදිකා නාට්‍ය ඉතා සරල විය. බොහොමයක් නාට්‍ය තුලින් උපහාසය ගැබ් වූ අර්ථාන්විත වින්දනයක් ලැබීමට ප්‍රේක්ෂකයාට හැකි විය. වාර්තා රංගන නාට්‍යයක් ලෙස ඔහුගේ ” ගජමන් පුවත ” බොහෝ විචාරක ප්‍රශංසාවන්ට ද බඳුන් විය. නිහතමානි නිර්මාණකරුවෙකු වූ ඔහු තමා නිර්මාණය කරන නාට්‍යයන් නරඹනවාට වඩා එය වේදිකා ගත වන විට අසල කාමරයකට වී සවන් දෙමින් තනිවම එය විඳීමට හුරු වී සිටියේය. නිවසේ විශේෂ කටයුතු තිබියදී පවා ඔහු තනිවම හිඳිමින් නාට්‍ය රචනා කටයුත්තක නියැලෙන්නට ප්‍රිය කළේය. නාට්‍ය කලාව ඒ තරමටම ඔහුගේ ආත්මය හා බැඳී පැවතුණි. නමුත් දීර්ඝ කාලයක් ඔහුගෙන් පෝෂණය වීමට තරම් ලාංකේය නාට්‍ය කලාව භාග්‍යවත් නොවුනි. තම නිර්මාණයන් පමණක් ඉතිරි කරමින් 1993 වසරේ ජුනි 24 වන දින සිය ආදරණීයයන්ගෙන් හා තමා බෙහෙවින් ප්‍රිය කළ නාට්‍ය කලාවෙන් දයානන්ද ගුණවර්ධන නම් වූ මෙම අසහාය කලාකරුවාණෝ සදහටම සමු ගත්හ.

[Source | Sooriya Records Sri Lanka] | Read more at https://www.dayanandagunawardena.org/

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *